සොයන්න....

Sunday, November 4, 2012

දිවා භෝජනය...

‍අට වයස් නොදරුවා
හැට පිරුණු කලු සමින්
වැසුණු ඇට සැකිල්ලකි

එහෙත් ඔහු සිනාසෙයි
දත් පුරා සිනාසෙයි
කට පුරා සිනාසෙයි

ඇට පෙනෙන මුහුන මත
දෙකන තෙක් දික් ගැහුණු
සිනාවෙන් ඔහු මුහුණ 
පුරුදු නැති සිත්තරකු
නොංචි කෝලමට කැපූ
සරිය වෙස් මුහුණකට

වමතෙ පොල් කටුවෙ සිට
කට ළඟට ගොස් වැටෙන
ලී කැබැල්ලකි සුරත
බට්ටෙක් මෙන් ඔරලෝසුවෙ
ගණන් බලා තුන් විඩයක්
උඩහට පහලට ගිය අත
හිස් පොල් කටුවේ
එකවර නැවතිණ

"පොඩි ළමයෝ
බත්
ඉවර ද කාලා?"

 පුදුමයෙන් මෙන් බලා මා දෙස
දෙකන තෙක් දික් සිනා පාලා
වීසි කොට පොල් කටුව කාණුවේ
පිස දමයි අත ඉරුණු සරමේ
                                                       සිරි ගුණසිංහ (අබිනික්මන, 1958)

ඇරඹුම.....

ගගන දෙරණට මැදිව එසවුන
පොරණ සිට උරුමයන් පැමිණෙන
නගන කිතු ගොස ලොවම සොලවන
පුදන දිරියයි දැයට හිමි වුණ

වැවු අමුණු වන පියස් ගහ කොළ

සිවු දිගට ඇති උරුමයන් හෙල
මවු ලෙසින් හිද ලක් දෙරණ තුළ
සවු සිරින් සපුරන්නෙ දරු කැල

හිත් නොමැති ගලකින් පවා

නෙත් තුළින් ජීවය පොවා
මත් කළා ලොව සිත් නිවා
කිත් ගොසින් දන මෙහි හොවා

පොරණ හෙළයන් ලෙයින් බිහිවුණ

දෙරණ මත උරුමයන් විසිරුන
දරණ යුතුකම ජන්මයෙන් එන
රකින බව වේ තුරුම මිය යන